> For the complete documentation index, see [llms.txt](https://blog.niweera.com/llms.txt). Markdown versions of documentation pages are available by appending `.md` to page URLs; this page is available as [Markdown](https://blog.niweera.com/society.md).

# සමාජයේ ප්‍රගමනයට සමාජ විරෝධියෙක් වන්න…?

<figure><img src="/files/t1GKgYkl3YQvyUdnj24q" alt=""><figcaption></figcaption></figure>

September 20, 2018

අනවශ්‍ය ලෙස දිගු නිහැඩියාවකින් පස්සේ තමා මේ ඔයාව හමු වෙන්න එන්නේ. මොනවා කරන්නද, විභාග, එසයින්මන්ට්, ප්‍රසන්ටේෂන් ඔක්කොම එක පිට වැටුනම මොන මගුලක්වත් කරගන්න බෑනේ. අන්තිමට කට්ටිය එක්ක හයියෙන් [හිනා](https://blog.niweera.gq/2018/06/20/%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8f/) වෙච්ච දවසක්වත් මතක නෑ. අනිත් හේතුව තමා, අර කවුද මහත්තයෙක් මොකක්ද රස්තියාදුවක් ගැන පොතක් ලිව්වනේ. මමත් ඉතින් ඕක කියවල බැලුවා. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. ඒ මහත්තය පොත් ලියන ශෛලියටම තමා මමත් ලියන්නේ කියල මට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඒ පොත ලාවට වගේ කියවපු එවුන් කියන්න පටන් ගත්ත අර මහත්තය ලියන්නෙත් උඹ ලියන විදිහටම තමා කියලා. මාතෘකාව එකක්, කතාව වෙන එකක්. පලවෙනි ඡේදයේ තියෙන කතාව දෙවෙනි ඡේදයත් එක්ක ගැලපෙන්නේ නෑ. කතාවේ මුලයි මැදයි ගැලපෙන්නේ නෑ, ඔය වගේ සීන් වගයක් තියෙනවා කියලා මට තේරුණා. ඉතින් මම ඒ පොතේ උණුසුම යනකන් නිහඬව ඉන්න තීරණය කළා. ඉතින් ඒවායින් වැඩක් නෑ. කතාවට බහිමුකෝ. මොකක්ද දෙයියනේ සමාජයේ ප්‍රගමනයට සමාජ විරෝධියෙක් වන්න කියන කුනුහරුපේ තේරුම? මෙහෙම හිතෙනවා ඇති නේ. ඇත්ත, මටත් මුලින්ම මේ ගැන කල්පනා කර කර ඉන්න කොට හිතුනෙත් ඕකම තමා. ඉතින් ඇත්තටම කතා කරන්න යන්නේ සමාජය සහ සමාජ ප්‍රගමනය ගැනම තමා, වෙන විකාර ගැන නෙවේ.

ඉතින් කොහොමද සමාජ විරෝධියෝ සමාජ ප්‍රගමනයට හේතු වෙන්නේ? මුලින්ම අපි බලමු සමාජය කියන්නේ මොකක්ද කියල. පොතේ හැටියට [සමාජය](https://en.wikipedia.org/wiki/Society) කියන්නේ මිනිස්සු ගොඩක් එකතු වෙලා ජීවත් වෙන එක. ඒකෙ වැරද්දක් කියන්න බෑනේ. මට මේ වෙලාවේ මතක් වෙනවා අපි ඕ ලෙවෙල් කාලේ සිංහල පන්තියේ ඉගෙන ගත්ත දෙයක්. හැමදාම අර සිරියාවතීගේ කතාවේ විචාරයක් ලියද්දි ඒක පටන් ගන්නේ "මිනිසා සමාජශීලී සත්ත්වයෙකි..." කියලා. ඇත්තනේ, මිනිසා සමාජශීලී සත්ත්වයෙක්නේ. තනියෙන් ඉන්න අපි කොච්චර කැමති උනත්, තනිකම සැපයි, සමාජය විසයි, කියල කොච්චර ත්‍රීවීල් වල පිටිපස්සේ ගහලා තිබ්බත්, අපි තනි කමට පට්ටම බයක්නේ තියෙන්නේ. මට අද වගේ මතකයි මම පොඩි කාලේ, මොන්ටිසෝරියට ගියාම, තාත්තා මාව දාල යන්න හදද්දී මම, තාත්තේ අතනට වෙලා ඉන්න කියලා තැනක් පෙන්නනවා. තාත්තා මාව දාල යයි කියලා, මම තනි වෙයි කියලා මම පොඩි කාලේ පට්ට බයක් තිබ්බේ. තාත්තා ඉතින් මොන්ටිසෝරි ඉවර වෙනකන් අර මම පෙන්නපු තැනට වෙලා හිටියේ නෑ, ඒක වෙනම සීන් එකක්. මොකෝ රස්සාවල් කියල සීන් එකකුත් තියෙනවනේ. හරි ඒකෙන් වැඩක් නෑ. මිනිස්සු ඇයි මෙච්චර සමාජෙට බය? අලුත් දෙයක් කරන්න මෙච්චර බය ඇයි? අත්හදා බලන්න මෙච්චර බය ඇයි කියල ලෝක ප්‍රශ්නයක් මට තියෙනවා. මට විතරක් නෙවේ ගොඩක් දෙනෙක්ට මේ ප්‍රශ්නෙම තියෙනවා. ඒත් මොනවා කරන්නද මාත් සමාජෙට බයයි. අපි හැමෝම ලොකු පොඩි වශයෙන් චුට්ටක් හරි සමාජෙට බයයි. රිජෙක්ෂන් එකට බයයි. ඒකෙ වැරද්දක් කියන්නත් බෑනේ.

හරි එහෙනම් එමුකො කවරයේ කතාවට. මේ රූපේ තියෙන්නේ [ඇන්ටෝනි ලැවොසියර්,](https://en.wikipedia.org/wiki/Antoine_Lavoisier) විසින් [ප්ලෝස්ටිජන් වාදය](https://en.wikipedia.org/wiki/Phlogiston_theory) බොරුයි කියලා ඔප්පු කරන සීන් එක. ඇයි මම මේ ඇන්ටෝනි ලැවොසියර්ම තෝරාගත්තේ කියල හිතෙනවා ඇතිනේ? මෙයා තමයි නූතන රසායන විද්‍යාවේ පියා විදිහට සලකන්නේ. සුපිරි චරිතයක්. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ සමාජ විරෝධියෙක්. ඒ කිව්වේ මිනිස්සු මර මර පිස්සු කෙලපු කෙනෙක් නෙවේ. මේ මනුස්සයා සමාජයේ මුල් බැසගත්ත ගතානුගතික අදහස් වලට දරුණු ලෙස පහර ගහපු කෙනෙක්. ඒ කාලේ ප්ලෝස්ටිජන් වාදයට එරෙහි වෙනවා කියන්නෙත් සුපිරි චරිතයක් තමා. මේ වාදය මොකක්ද කියල එච්චර වැදගත් නෑ. මෙහෙම හිතන්නකෝ, ඉස්සර පොලොව පැතලියි කියලනේ හිතන් හිටියේ. ඒක එහෙම නෙවේ කියල හොයාගත්තු කෙනාට සමාජයෙන් ලැබුණු පිළිගැනීම කොහොමද කියල දන්නවනේ. හැබැයි දැන් මෙහෙම සීන් එකකුත් තියෙනවා. දැන් අපේ සමහර කට්ටිය හිතන් ඉන්නවා පොලොව පැතලියි කියලා. ඒගොල්ලෝ සංවිධානෙකුත් හදාගෙන ඉන්නවා [Flat Earth Society](https://www.tfes.org/) කියලා. ඒවායින් වැඩක් නෑ. දැන් තේරෙනවනේ අර මනුස්සයා සමාජ විරෝධියෙක් වෙලා ලෝකෙට කරපු සේවයේ තරම. සමාජෙට බයේ හිටියානම් අපි තාම හිතන් ඉන්නේ ගිනි ගන්න දේවල් ඇතුලේ ප්ලෝස්ටිජන් කියලා හත්තිලව්වක් තියෙනවා කියලා. එහෙනම් අපි ඔක්සීකරණය කියල එකක් ගැන අහන එකක් වත් නෑ.

දැන් බලමු සමාජශීලී සත්ත්වයෙක් වශයෙන් අපිට තියෙන වගකීම මොකක්ද කියලා. අපි ඔක්කොටම ලොකු වගකීමක්, උපතේදීම ලැබිලා තියෙනවා. ඒ තමයි ජාතියයි, ආගමයි. සමහර වාසනාවන්තයින්ට නම් පක්ෂයක් කියල එකකුත් ලැබිල තියෙනවා. 2500ක මෙව්වා එකකුත් ලැබිල තියෙනවා රැක ගන්න කියලා. සුද්දා කොළ අතු අඳිද්දී අපි වැව් හැදුවා තමයි. එත් දැන් ඉන්න අපි නම් කරපු දෙයක් නෑ. කාල බීල, ඉගෙනගෙන, රස්සාවල් කරලා, කසාද බැඳලා (බඳින්නේ නැතුව හරි) දරුවෝ හදලා, උන්ව දොස්තරලා ඉංජිනේරුවෝ කරලා, උන්ගේ දරුවොන්ගේ සුරතලුත් බලලා, පස්සේ දියවැඩියාව, ප්‍රෙෂර්, කොලේස්ට්‍රෝල්, වගේ ලෙඩත් හදාගෙන දුක් විඳලා මැරිලා යනවා. මේ ලෝකෙට කරපු දෙයක් නෑ. මේ ලෝකේ ජනගහනය පොඩ්ඩක් වැඩි කරලා දීල මේ ලෝකෙන් යන්න යනවා. එකේ වැරද්දක් කියන්නත් බෑ. මිනිස්සු මේ ලෝකෙට එන්නේ තමන්ගේ වර්ගයා බෝ කරන්නනේ. ඒත් ඉතින් ඒ ටික කරලා විතරක් මදි. මොනවහරි අලුත් දෙයක් කරන්න වෙනවා. මොකද කුමාරතුංග මුනිදාසයන් කියල තියෙනවා, "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී, සිගා කෑම බැරි වූ තැන ලගී ගයා මරගී" කියලා. සුපිරි වදනක් කියලා තියෙන්නේ. අපේ රටේ අලුතෙන් මොන මගුලක් වත් හැදෙන්නේ නෑනේ. ඔක්කොම පිට රටෙන් තම ගෙන්නන්නේ. ඉතින් කොහෙද අපි ලොව උසස් ජාතියක් (ජාතිය ලෙස හඳුන්වන්නේ ශ්‍රී ලාංකීය ජාතිය මිස සිංහල ජාතිය නොවේ) වෙන්නේ. අපිට ඉතින් හැමදාම සුද්ද කරපු දේවල් දිහා හූල්ල හූල්ල ඉන්න තමා වෙන්නේ.

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. රිස්ක් එකක් ගන්න. අලුත් දෙයක් කරන්න. සමාජ විරෝධියෙක් උනාට කමක් නෑ, අවසානය සමාජ ප්‍රගමනයට හේතු වෙනවනම්. සමාජේ හිනා වෙයි කියල බය වෙන්න එපා. සමාජය තියෙන්නෙම අනිත් අයට හිනාවෙන්න. ඔයත් තව කෙනෙක් අලුත් දෙයක් කරන්න යනවා නම් ඒකට උඩගෙඩි දෙන්න. වචනෙකින් හරි දිරිමත් කරන්න. සමාජේ වෙනස් කරන්න හිතන්න එපා තමන් වෙනස් වෙලා පෙන්නන්න. සමාජෙත් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගනීවි. ඉතින් මගේ කතාව මෙතනින් අවසන්, කතාව හොඳයි නම්, රේටින් එකක් දාගෙන යන්න. හොඳ නැත්නම් ඒකත් රේටින් එකේ දාල යන්න. හොඳයි නරකයි කියලා හිතේ හිර කරන් ඉන්න එපා. මගේ කතාවට එකඟ නැත්නම් ඒත් කමක් නෑ. කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිත් අයත් මගේ කතාව දැක්කොත් හොඳයි කියල හිතෙනවා නම් ශෙයා කලත් කමක් නෑ. මම තරහ වෙන්නේ නෑ. කලින් ලියපු මගේ කතා කියවල නැත්නම් ඒවත් කියවන්න. එහෙනම් ඉතින් ආපහු මේ වගේ විකාර කතාවකින් හමු වෙනකං, Stay Weird…


---

# Agent Instructions
This documentation is published with GitBook. GitBook is the documentation platform designed so that both humans and AI agents can read, navigate, and reason over technical content effectively. Learn more at gitbook.com.

## Querying This Documentation
If you need additional information that is not directly available in this page, you can query the documentation dynamically by asking a question.

Perform an HTTP GET request on the current page URL with the `ask` query parameter:

```
GET https://blog.niweera.com/society.md?ask=<question>
```

The question should be specific, self-contained, and written in natural language.
The response will contain a direct answer to the question and relevant excerpts and sources from the documentation.

Use this mechanism when the answer is not explicitly present in the current page, you need clarification or additional context, or you want to retrieve related documentation sections.
