# දිල්ලිවාලේ දුල්හානියා ලේ ජායෙන්​ගේ

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2022/12/ddd-800x445.jpg" alt=""><figcaption></figcaption></figure>

December 29, 2022

ඕන්න ඉතින් හෙනම කාලෙකට පස්සේ බ්ලොගක් ලියන්න හිතුනා. මතකත් නෑ අප්පා මම වෙනදා ලියන්නේ කොහොමද කියලා. මේ අවුරුද්දත් ඉවර වෙන්න ලඟ හින්දා මේ අවුරුද්දේ වෙච්ච දේවල් ගැන කල්පනා කරලා කරලා බැරිම තැන අන්තිමට මට හිතුනා මට වෙච්චි දෙයක් ලයිප් එක්ස්පීරියන්ස් එකක් ගැන ලියලම මේ අවුරුද්ද ඉවර කරන්න. ගනන් ගන්න එපා කට කට ගාල ගැහෙන අත පය ගල් වෙන හීතලක ඉන්න ගමං තමා මේ ටයිප් කරන්නේ ඉතිං පොඩි පොඩි අවුල් එහෙං මෙහෙං වෙන්න පුලුවන් ඒක හින්දා කලිංම සමාව භාජනය කරනවා ඒකට.

ඕං ඉතිං හා හා පුරා කියලා මම මේ අවුරුද්දේ ජීවිතේ පලවෙනි වතාවට ආස් යාන්තරාවක නැගලා දුරු රටකට කියලා අසල්වැසි ඉන්දියාවට ගියා මගේ පොඩි වැඩක් කරගන්න කියලා ආතල් එකටත් එක්ක. හැමදාම ලංකාවෙ ඉන්නත් බෑනේ, මේ දූපතෙං ගිහිං රටේ ලෝකෙ ඇවිදලා අනිත් රටවලුත් බලලා කරලා එන්න ඕනෙ කියලා හිතලා ඔන්න ඔහේ වෙන දෙයක් වෙච්චාවෙ කියලා ඉන්දියාවේ දිල්ලියට සැපත් උනා මම පහුගිය දෙසැම්බර් දහනව වෙනිදා දෙයියනේ කියලා. මම ආපු එයාර් ඉන්දියා ආස් යන්තරාවේ ඉස්ටුවර්ඩස් නෝනා අර ටැලිපෝං මෙව්වා එකෙන් කිව්වා ආප් ලෝග් දිල්ලි ඉන්දිරා ගාන්ධි මෙව්වා එකට ස්වාගත් හේ කියලා. ඉතිං තව කිව්වා උස්නත්වේ 10 සෙල්සියස් අංශක කියලත්. මාර චිල් ඉතිං, අයි මින් ලිටරලි, ගෙදර අයිස් පෙට්ටියට ඔලුව ඔබං ඉදියා වගේ. ඉතිං මාත් ඉතිං මෙලෝ දෙයක් දන්නේ නෑ නේ ඔන්න ඔහේ අනිත් ඈයෝ කරන කියන විදිහටම ඉස්සරාට ගියා. යනව යනවා දෙයියනේ එහෙම යෑමක් මම පිටකොටුවෙ වත් ගිහිං නෑ. කොච්චර ගියත් ඉවරයක් වෙන්නේ නෑ අර ඉබේ ඉස්සරහට යන ගැජමැටික් එකට නැගලා ඔහේ ඉස්සරා බලං ඉන්න තියෙන්නේ ඒක ඉවරවෙනකොට හිංදියෙන් කවුද ගෑල්ලමයෙක් අයියේ ඔන්න ඕක ඉවරයි දැං පය පරෙස්සමිං ද කොහෙද වෙන්න ඇති එහෙම කියනවා, මාත් ඉතිං ඒකෙං බැහැලා ඉතිං ගියා ඉමිග්‍රේශන් කවුන්ටරේට. එතනත් මරු මරු ආතල්. මම දැං ඒ මනුස්සයා අහන ප්‍රශ්න වලට උත්තර හිත හිත ඉන්නවා. එතනදි නං ඉතිං මොකුත් ඉසූ එකක් උනේ නෑ ඔහේ මගේ නම අහලා සීල් එක ගහලා වෙල්කම් ද කොහෙද කිව්වා මට තේරුනේ නෑ අයි මීන් මට හරියට ඇහුනේ නෑ කං අගුල් වැටිලා හින්දා. මගේ නම නෙවේද මන්දා මගෙන් අහලා තියෙන්නේ, මම නම කිව්වට :D. ඔන්න ඕක අස්සේ අපේ ලංකාවෙ තව අයියා කෙනෙක් එහා පැත්තේ කවුන්ටරේ ඉන්නවා, ඒකෙ බුවා බීජා බීජා කිය කිය කෑගහනවා, අර අයියත් පුල් හොල්මන් පොල් මැල්ලුම් වෙලා අපි දිහා බලං ඉන්නවා. අපිත් පුල් හොල්මං වෙලා ඒ අයියා දිහා බලං ඉන්නවා. බැලිංනං ඒ ඉමිග්‍රේශන් ඔපිසර අහලා තියෙන්නේ වීසා එකට පාස්පෝට් එකේ පිටුව පෙරලන්න කියලා. අර බීජා බීජා කියන්නේ වීසා කියලා මොන දෙයියද හත්තිලව්වේ දන්නේ. එතන පෝලිමේ ඉඳපු අනිත් ලංකාවෙ උන්ටත් මැරෙන්නම හිනා ඒ සීන් එකට.

හරි ඉතිං ඊට පස්සේ මට කරන්න තිබ්බේ මගේ ලගේජ් එක අරගන්න. ඒක තියෙන්නෙ දහවෙනි බෙල්ට් එකේ කියලා මට ලාවට මතකයි අර ප්ලේන් එකේ ඉස්ටුවර්ඩ් නෝනා කියපු හින්දා. දැං ගියා ඒක ගන්න. හත්තික්කේ අර මගේ ලගේජ් එක ලස්සනට තියෙනව ඒ බෙල්ට් එකෙන් බිම, පැත්තක. හරිම සංතෝසයි වගේම හරිම පුදුමයි. එතන ලගේජ් බර ගානක් තියෙනවා. ඕනෙ කෙනෙක්ට ඕනෙ ලගේජ් එකක් අරං යන්න පුලුවන් (ඒක මට පස්සේ මීටර් උනේ :P) මම ඉතිං තිස්තුං කෝටියක් දෙවිදේවතාවුන්ට පිං දීලා මගේ ලගේජ් එකත් අරං එලියට ආවා. ඒ අතරමග කල්පනා කලේ දෙයියනේ ඕනෙ කෙනෙක්ට ඕනෙ ලගේජ් එකක් අරං එලියට එන්න පුලුවන්නේ කවුරුවත් බලන්නේ නෑ නේ කියලා. මාර ඔනර් සිස්ටම් එකක් එතන තියෙන්නේ බලං ගියාම. තමන්ගේ බෑග් එක අරන් කට්ටිය එලියට යනවා, මිනිස්සුන්ගේ අවංක කම උපරිමයි බලං ගියාම මේ ඉන්ස්ටන්ස් එකේ දී. පට්ටම ආඩම්බරයි මනුස්සයෙක් වසයෙන් මේ අවස්ථාවේදී.

කොහොමිං කොහොමහරි මම ඉතිං මම නවාතැන් ගන්න ස්ථාන​යට ආවා ඌබර් එකක් දාලා. මේ වෙලාවේ විසේසයෙන් මතක් කරන්න ඕනේ මට ඉන්දියාවට ඇවිත් ස’වයිව් වෙන විදිහ කියලා දුන්න මගේ මිත්‍ර අයියා කෙනෙක්​ව. එයා කියපු විදිහට​ම ලංකාවේදීම බැංකු වලට කතා කරලා කාඩ් හදාගෙන ඉන්දියාවෙ ගියේ ඌබර් එකට කාඩ් එකෙං ගෙවෙන විදිහට. ඉතිං කිසි අවුලක් නෑ. ඔන්න ඉතිං ඌබර් එකේ යද්දි වට පිට බල බල යද්දි දැක්කේ බය හිතෙන දර්ශනයක්. කැලෑ වගේ තියෙනවා දෙපැත්තේ ඒවායේ කලුවට යක්කු බූතයෝ වගේ වලාකුලු තියෙනවා මොනාද මන්දා. මම හිතුවේ නිදිමත හින්දා පේන ම්නෝභ්‍රාන්තීන් ද ව​ත් කියලා, බැලින්නම් ඒ වායු දූසනය වෙලා. හපොයි දෙයියනේ කවදා කාපු ටකරංද මේ කියලා කිව්වලු. එයා කොලිටි ඉන්ඩෙක්ස් එකේ රේටිං වලට අනුව මෙලාකට මම මැරිලා (දෙයියන්ගේ පිහිටෙං මාස්ක් එකක් දාගෙන ඉදිය හින්දා අවුලක් ගියේ නෑ මං හිතන්නේ). කොහොමිං කොහොමහරි මම ආවා අර මගේ නවාතැන්පොලට. සුපිරි සොදුරු නවාතැනක් ඒක. ඒක ගැන සම්පූර්ණ විස්තරයක් මම පසුවට කියන්නං ඒක ගැන කියන්න ගියොත් කතාව අන්නෙසෙසරිලි දිග්ගැස්සෙන හින්දා.

ඉතිං මම දැං ඉන්නේ සෙන්ට්‍රල් දිල්ලි නේ. මම ඉතිං ගියා වට පිට බලන්න. බලන්න බලන්න මාරම ලස්සනයි අප්පා /s. ආයේ කියලා වැඩක් නෑ තනිකරම ලංකාවම තමා පොඩි පරහක් ඇරෙන්න. මම ගියා දිල්ලි රේල්වේ ඉස්ටේසන් එක පැත්තට එහෙ තමා මේන් බසාර් කියන පැත්ත තියෙන්නේ. තනිකරම පිටකොටුවේ මේන් ස්ට්‍රීට් ම තමා කපාපු පලුව මේක. පුදුමේ කියන්නේ හත්දෙයියනේ මෙහේ තියෙනවා අභය සිංහල ටෙක්ස් කියල සිංහල පුලුවන් හින්දි රෙදි කඩයක් සුපිරි බුවාල ටිකක් ඉන්නේ. අපි මොන සෙල්ලම් දැම්මත් මේ මේන් ස්ට්‍රීට් එකේ උං දන්නවා අපි ලංකාවෙ කියලා. අපි හින්දියෙන් කතා කලාම එවුන්දැලා අපිත් එක්ක සිංහලෙං කතා කරන්නේ. රෙදි ඉල්ලේ ඉතිං අන්තිමට.

![](https://blog2.niweera.gq/wp-content/uploads/2022/12/IMG_20221221_203010-min-1.jpg)

ඒ මේන් බසාර් පැත්තට යන්නේ නැතුව අනික් පැත්තට ගියාම තමා [කොනෝට් ප්ලේස්](https://en.wikipedia.org/wiki/Connaught_Place,_New_Delhi) තියෙන්නේ. අනේ අම්මපා කොනෝට් ප්ලේස් කියන්නේ ත​නිකරම වන් ගෝල් පේස් ම තමා. පොඩි වෙනසයි තියෙන්නේ. පොඩි වෙනස ඔ​යා දැනටමත් දන්නවා ඒක මම මෙතන කියලා මේ බ්ලොග් එක බත් කන ගමන් කියවන මගේ මිත්‍රයන්ව අපහසුතාවයට පත් කරන්න යන්නේ නෑ. හරි ඉතිං ඒක අතෑරලා දාමු කෝ. ඕ​ං ඉතිං කොනෝට් ප්ලේස් එ​කේ කඩනං තියෙනවා දෙයියනේ කියලා එක දවසට එක කෑමක් කෑවත් අවුරුද්දක් විතර කන්න තරං කෑම ජාති මෙහේ තියෙනවා. මාත් මේ එක එක දවසට එක එක කෑම ජාති කන ගමං ඉන්නේ.

![](https://blog2.niweera.gq/wp-content/uploads/2022/12/IMG_20221221_214246.jpg)

කොහොමිං කොහොම හරි කතාවේ අවසානයටත් ආ​වා. ඉතිං මේ ලස්සන දිල්ලි​යේ ලස්සන බලන්න නං ​රෑ වෙලා පොඩ්ඩක් කොනෝට් ප්ලේස් එහෙම යන්න ඕනෙ. අම්ම්පා කියන්නේ ලයිට් දාලා මාර ලස්සනයි. මේ ඔක්කොම අස්සේ මම දිල්ලියේ ලස්සන කෙල්ලන් ගැන කිව්වේ නැත්තං අයි වුඩ් ​බී රෙමිස්.

> පෙම්වතුන්ගේ උරහිසේ එල්ලී ය​න
>
> මුඛවාඩම් ​ලා ගත් දිල්ලියේ කෙල්ලන්ගේ
>
> ඇස් කොනෙන් බලන බැල්ම දෙවැනි වන්නේ,
>
> තැන තැන එල්ලී සිටින මෝදීතුමා ගේ බැල්මටම​ය…

ඕං එහෙනං මගේ කතාව අවසානයි. දිල්ලියේ තව රස කතා බොහොමයක් තියෙනවා ඉතිං ඒවා පස්සේ දවසක කියන්නංකෝ. මේකේ ටයිටල් එකේ තියෙන්නේ පොඩි මූවී පන් එකක්. [දිල්වාලේ දුල්හානියා ලේ ජයේන්ගේ](https://www.imdb.com/title/tt0112870/) කියන්​නේ ඔයා හොඳටම දන්න හින්දි චිත්‍රපටයක් නේ. ඒක පොඩ්ඩක් වෙනස් කලා දිල්ලි වාලේ කියලා. දිල්වාලේ කියන්නේ ලොකු හදවතක් තියෙන මිනිස්සුන්ට. එතකොට දිල්ලි වාලේ කියන්නේ දිල්ලියේ ජීවත් වෙන මිනිස්සුන්ට. හැබැයි මම එක දෙයක් ඉගෙන ගත්තා, දිල්ලිය​ට අපි හැමෝම ටුවරිස්ට් ලා. දිල්ලිය අපි හැමෝටම එකම විදිහට සලකන්නේ, සීතල දාට සීතලත් රස්නේ දාට රස්නෙත්. ඉතිං කෝමිං කෝම හරි මගේ මේ බ්ලොග් එක ජීවත් වෙන්න කට්ටක් කන හැම දිල්ලිවාලේ කෙනෙක්ටම උපහාරයක්ම වේවා. වෙනසකටත් එක්​ක ම​ට මේ කතා​වේ අවසානයට පොඩ්ඩක් ආතල් එකටත් එක්ක මීමරයකින්ම අහව​ර කරන්න හිතුනා.

![](https://blog2.niweera.gq/wp-content/uploads/2022/12/Ol-Reliable-spongebob-imaginary-box-scaled.jpg)

එහෙනම් ඔන්න මයෙ කතාව අවසාන​යි. කලින් ලියපු මගේ කතා කියෝලා නැත්නම් ඒවත් කියවන්න. මගේ කතාව මරු, ආත​ල් කියලා හිතෙනවා නම් පොඩි ශෙයා පාරකුත් දාන්න. එහෙනම් ඉතින් ආපහු මේ වගේ විකාර කතාවකින් හමු වෙනකං, Stay Weird…


---

# Agent Instructions: Querying This Documentation

If you need additional information that is not directly available in this page, you can query the documentation dynamically by asking a question.

Perform an HTTP GET request on the current page URL with the `ask` query parameter:

```
GET https://blog.niweera.com/undefined.md?ask=<question>
```

The question should be specific, self-contained, and written in natural language.
The response will contain a direct answer to the question and relevant excerpts and sources from the documentation.

Use this mechanism when the answer is not explicitly present in the current page, you need clarification or additional context, or you want to retrieve related documentation sections.
